වෙළද වට්ටම්
වෙළද වට්ටම් ද්විත්ව තීරු මුදල් පොත සකස් කිරීමේදී අදාල නොවුනද වට්ටම් පිළිබදව දැනුම සම්පූර්ණ කර ගැනීමෙන් ඕනෑම ගනුදෙනුවකින් මුදල් පොතේ වට්ටම් තීරුවලට ඇතුලත් විය යුතු වට්ටම් නිවැරදිව හදුනා ගැනීමට පහසුවෙන නිසා වෙළද වට්ටම්ද මෙම අවස්ථාවේදීම අධ්‍යනය කිරීම වැදගත් වේ.
වෙළද වට්ටම් යනුවෙන් අදහස් කරන්නේ ව්‍යාපාරයක විකුණුම් පරිමාව වැඩිකර ගැනීමේ අරමුනින් භාණ්ඩවල ලකුණු කල මිලෙන් සිදුකරනු ලබන යම් කිසි අඩුකිරීමකි.
ව්‍යාපාරය විසින් භාණ්ඩ විකිණීමේදී වෙළද වට්ටම් ලබා දෙන අතර ව්‍යාපාරය විසින් සැපයුම් කරුවන්ගෙන් භාණ්ඩ මිලදී ගන්නා විට වෙළද වට්ටම් ලැබීම සිදුවේ.මේ නිසා වෙළද වට්ටම්ද දුන් වට්ටම් හා ලද වට්ටම් ලෙස කොටස් 2කි.මෙහිදී “වෙළද” යන වචනය විශේෂයෙන් සඳහන් කර නැතත් විකුණුම් මිලෙන් සිදුකර ඇති අඩුකිරීමක් නම් එය වෙළද වට්ටමක් බව අප විසින් තේරුම් ගත යුතුය.
මුදල් වට්ටම් මුදල් පොතේ වට්ටම් තීරුවලට ඇතුලත් කර වෙනම හදුනාගත යුතු වුවත් වෙළද වට්ටම් මුදල් පොතේ වට්ටම් තීරුවලට ඇතුලත් කිරීම අවශ්‍ය නොවේ. හේතුව වන්නේ වෙළද වට්ටම භාණ්ඩයේ විකුණුම් මිලෙන් අඩුකිරීමක් වන නිසා එම භාණ්ඩයේ සත්‍ය මිල ලෙස වට්ටම් අඩුකල පසු ලැබෙන ශුද්ධ අගය මුල් අවස්ථාවේදීම ගිණුම් ගත කල හැකි වීමයි.
නමුත් මුදල් වට්ටම් ලැබෙන්නේ කලින් ගෙවිය යුතු ලෙස හදුනාගෙන පොත්වලට ඇතුලත් කල වටිනාකමකිනි.නැතහොත් ණය හිමියන්ට ගෙවිය යුතු ලෙස කලින් සටහන් කරගත් වටිනාකමෙනි.මේ නිසා මුදල් වට්ටම වෙනම හදුනාගෙන ගිණුම්ගත කල යුතුය
උදාහරණ- ලකුණු කල මිල රු.1000ක් ලෙස සටහන් වු ලිපි ද්‍රව්‍ය තොගයක් 10%ක වෙළද වට්ටමකට යටත්ව 2019-01-01 දින සුපුන් සහ සමාගමෙන් ණයට ගන්නා ලදී.
මෙම ගනුදෙනුව නිසා අප විසින් සුපුන් සහ සමාගමට 2019-01-01 දිනට ගෙවිය යුතු මුදල ලෙස පොත් වල ඇතුලත් වන මුදල රු.900කි.
ලකුණු කල මිල =1000
(-) වට්ටම් =(100)
ගැනුම් මිල = 900
අපට මෙම භාණ්ඩ තොගයේ ගැනුම් මිල වන්නේ රු.900ක් නිසා වෙළද වට්ටම් පොත්වල ඇතුලත් කිරීම අවශ්‍ය නොවේ.
මෙම ණය මුදල 2019-01-15ට පෙර ගෙවුව හොත් ගෙවිය යුතු මුදලින් 10%ක මුදල් වට්ටමක් සුපුන් සහ සමාගමෙන් ලබාදෙන බව ප්රකාශකල නිසා 2019-01-10 දින 10% වට්ටමට යටත්ව ණය මුදල සම්පූර්ණයෙන්ම ගෙවා දමන ලදී.
මෙහි ප්‍රතිඵලය වන්නේ
ගෙවිය යුතුව තිබූ සම්පූර්ණ ණය මුදල = 900
(-) ලද වට්ටම 900 ×10 % = (90)
මුදලින් ගෙවූ මුදල = 810
රු.810ක් ගෙවූ පසු ණය මුදල සම්පූර්ණයෙන්ම ගෙවූ බවට පත් වීමට නම් අප විසින් ඉහත ලද වට්ටම් වෙනම ගණනය කර පොත් වලින් අඩුකර දැමිය යුතු වේ.මුදල් වට්ටම් මුදල් පොතේ වට්ටම් තීරුවට ඇතුලත් කර වෙනම හදුනා ගත යුතු වන්නේ මේ හේතුව නිසාය
